Sunday, 31 December 2017

වාචාල බණ - Yet another year ends......


මා මේ දිනවල නිවාඩු සමය ගත කරන ලංකාවේ නිවසේ දින කිහිපයකට පෙර සාංගීක දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි.

තමන් සතු අතිරික්ත දේ අනුන් ගේ යහපත පිණිස දීම හොඳ කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. කිසිදු තර්කානුකූල පැහැදිලි කිරීමක් මා මේ වන තුරු අසා නැතත්, මේ දන්දීම් අතරින් සාංගීක දාන වඩාත් උතුම් බව බෞද්ධයින් ගේ පිළිගැනීමයි.

එදා සාංගීක දානයේ මුල් කොටසේ දී, නිවස පසුපස කාමරයට වී එකත්පස්ව මගේ පාඩුවේ සිටීමට හැකි වුවත් දානය අවසානයේ දී පැන් වැඩීමක් තිබුණු නිසා මට ඒ ප්‍රදේශයට යාමට සිදුවිය. එනිසා ම, ඒ අවස්ථාවේ දී දෙසන්නට යෙදුණා වූ, බුද්ධපුත්‍ර වචන ද මගේ සවනත ගැටුණි.

සුඛා සද්ධම්ම දේශනා නොවේ දෝ යැයි සිතමින් මම එහි තවදුරටත් රැඳී සිටියෙමි.

"අද දවසේ ඉපදෙන දරුවෙකු ගේ පරමායුෂ අවුරුදු කීයක් දැයි දන්නවා ද?" තම ධර්ම අනුශාසනාව අරඹමින් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑ වැදෑරූ දෑ ය.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත්, ඒ ප්‍රශ්නයට පිළිතුරක් මා අවසාන වරට බුද්ධාගම විෂයයක් ලෙස උගත් නමවෙනි ශ්‍රේණියේ දී හෝ ඉගෙන ගෙන නොතිබුණු බැවින් මම ද නිහඬව සිටියෙමි.

සමහරවිට මේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ මේ දිනවල සිනුවරට වඩිමින් සිටින උඩඊරියගම ධම්මජීව වැනි හිටපු ඇග්‍රෝ, වලස්මුල්ලේ අභය වැනි හිටපු ඉංජෝ විසින් විද්‍යාත්මකව පහදා දෙනවා යැයි කියවෙන, මා තවමත් නොදන්නා, අභිධර්මයේ යැයි මම මොහොතකට සිතුවෙමි.

මගේ ඒ සිතුවිල්ල ගැන මට ම ලැජ්ජාවක් ඇතිකරමින් මොහොතකින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට ලබා දෙන ඉඟියක් ලෙස ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ වැදෑරුවේ මෙලෙස ය.

"ඊයේ දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහත්මයාගේ වැඩසටහන නැරඹුවා නම් ඒ ප්‍රශ්නයට පිළිතුර දැන ගන්න තිබුණා."

මේ මොන මෑණියන්ගේ වස්ත්‍රයක් ද කියා සිතමින් ම මම සැදැහැවත්ව සවන යොමා සිටියෙමි.

"ඒ වැඩසටහනට සහභාගී වුණු විශේෂඥ වෛදවරයෙකු ප්‍රකාශ කළා මිනිසා ගේ පරමායුෂ ක්‍රමයෙන් අඩුවෙන බව. ඊළඟ පරම්පරාවේ ඉපදෙන ළමයින් ජීවත් වෙන්නේ අවුරුදු තිස් පහක් පමණයි! ඒ වැඩ සටහන නරඹන වෙලේ මට සිහිවුණා බුද්ධ වචනයේත් සඳහන් වෙන බව මිනිසාගේ පරමායුෂ අවුරුදු 120 ක් ව තිබී ක්‍රමයෙන් අඩු වුණු බව. දැන් ළඟඳී ම ඒ වයස අවුරුදු තිස් පහක් වෙන බවයි ඒ විශේෂඥ වෛදවරයා ප්‍රකාශ කළේ."

මට තව දුරටත් මුවින් නොබැණ සිටීමට නොහැකිවිය.

"ඒ විදියට අවුරුදු තිස් පහක් පරමායුෂ තියෙන පරම්පරාව එන්නේ කොයි කාලෙ ද ඇත්තටම?" මම විමසුවෙමි.

සමහරවිට අපේ ජීවිත කාලය තුළ නොවෙන්න පුළුවන් අද ඉපදෙන දරුවන් යැයි වදාළ තම මුල් වදන් දෙවන වරටත් වෙනස් කරමින් ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ පැවසූ දෑය.

කිසිම පදනමක් නැති බව පෙනෙන මෙහෙම කතා කියන කොට ඒ සියලු අතුරු කතා මුලින් කියන්න ඕනෑ නේදැයි මා අසා සිටියත් එයින් නොසැලුණු ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ තවදුරටත් තම කෙප්පංග ජාතකය ම තවත් විනාඩි කිහිපයක් නාස්ති කරමින් වදාළ දෑය.

මගේ අභද්‍ර වචන පිළිබඳව එහි සිටි වැඩිහිටි අවිද්‍යාවේ සර්ධාවෙන් වෙලී සිටින ඥාතී වර්ගයාට මළ පැනීමට ඉඩ තිබුණු නිසා, මා වැඩිදුර කතාවට නොපැටලවී සිටියෙමි.

වෙනත් අවස්ථාවක දී නම්, මා ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑගෙන් අසන්නට ඉඩ ඇති ප්‍රශ්න යුගල මෙසේ ය.
  1. සංඝයාගේ යුතුකම වන්නේ ගිහියන් දෙන දානය පිළිගෙන ඔවුන්ට බුද්ධ වචනය දෙසීම නොවේ ද?
  2. එසේ නොමැතිව දහදුරා රූපවාහිනී නාලිකාවල වාචාල නිවේදකයින් මෙහෙයවන වෙළඳ වැඩසටහන්වල කියවෙන ප්‍රකාශ එහි පසුබිම හෝ අදාළ වෙනත් තොරතුරු නොමැතිව ධර්මදේශනා ලෙස දේශනා කරන්නේ ඇයි?
කෙසේ වෙතත් වසර අවසානයට පෙර තවත් ලිපියක් රසිකොලොජියට එකතු කිරීමට මට අවස්ථාව සඃසා දීම ගැන ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මම ස්තුතිවන්ත වෙමි.

ඒ කරගත් පිනෙන් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මොහදුර දුරු කර ඥානාලෝකය පහළ කර ගැනීමට ඉඩ ලැබේවා යැයි ද වැඩි දුරටත් පතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
එදා ඒ දෙරණ නාලිකා සාකච්ඡාවේ දී චතුර අල්විස් සමග කතා කළ වෛද්‍යකාරයා පවසා ඇත්තේ පරිසර දුෂණය නිසා මිනිස් ආයුෂ අඩුවෙනවාය වැනි කතාවක් බව පසුව නිල නොවන ආකාරයකින් දැන ගතිමි.