Monday, 19 June 2017

සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!


ඉයන් ලින්තොට විසින් ආරම්භ කර ඇති නවතම බ්ලොග් ව්‍යාපෘතියට එකතු වීම පිණිස "සම්බෝල ප්‍රවර්ගයේ" කෙටිකතාවක් ලිවීම සඳහා වස්තු බීජ දෙක තුනක් සොයා ගැනීමට සිත පීරමින් සිටියදී, යටි හිතේ කොහේදෝ කොනක සැඟවී තිබුණු එක් සුන්දර සිදුවීමක් යළි මතකයට නැගුණි.

සම්බෝල, අච්චාරු, චට්නි, සලාද, පපඩම් සියල්ල අමතක කර ඒ වස්තු බීජය ඉතා සැකෙවින් ලියා පළ කරන්නට මට වහා සිත්විය.

මෙය කොල්ලෙකු සහ කෙල්ලක සම්බන්ධ කතාවකි.

අපේ කතා නායකතා තම ජීවිතයේ ප්‍රථම රැකියාව ඇරඹූ වයස අවුරුදු විසි තුනක පමණ තරුණයෙකි. සේවය අරඹා දෙවෙනි දිනයේ දී පමණ සම වයසේ යැයි හැඟී ගිය පියකරු තරුණියක් ඔහු නෙත ගැටුණේය. ඇය විශ්වවිද්‍යාලයක පාඨමාලවක් හදාරමින්, ඒ පාඨමාලාවට අදාළ පුහුණුවක් සඳහා මේ ආයතනයේ මාස කිහිපයක් ගත කරමින් සිටි යුවතියකි.

නිතර එකිනෙකා දුටුවේ වුව ද, ඔවුන් දෙදෙනාට කතා බහ කිරීමට වැඩි ඉඩකඩක් සේවා ස්ථානයේ දී, සේවා කාලය තුළ නොලැබුණි. කෙසේ වෙතත්, තරුණයා ඇය දුටු සැම මොහොතකම සසල සිතින් ඇය දෙස බලනු ඇය නොදකින්නට හේතුවක් නොතිබුණි.

කොටින් ම, "කුච්, කුච් හෝතා හේ" තත්වයක් ඇරඹී තිබුණි.

මාස කිහිපයක් ම ගත විය. සේවා ස්ථානයේ අන් මිතුරු මිතුරියන් සමග සිටි අවස්ථාවල, කෝල, මනලෝල බැල්මක්, වචනයක් දෙකක් හුවමාරු වූ නමුත්, සම්බෝල තියා ජම්බෝල ප්‍රවර්ගයේ කෙටිකතාවකටවත් සුදුසු කිසිවක් ඊට අමතරව සිදුවෙන බවක් නොපෙනුණි.

ඒ, ආයතනයේ අවුරුදු නිවාඩුවට පෙර දා සවස් යාමයයි.

නිවාඩුවට පෙර අවසන් කිරීමට යුවතියට සුවිශේෂී කාර්යක් පැවරී තිබුණු නිසා, ඇය සවස් යාමය තෙක් ම ආයතනයේ රැඳී සිටිනු තරුණයා දුටුවේ ය.

මද වේලාවකින් ඇය පැමිණ ඔහුගෙන් මෙලෙස ඇසුවා ය.

"රනුක, මට අද රෑ අට විතර වෙනකම් මෙතැන ඉන්න වෙනවා. ඔයා ඕෆ් වෙන්නේත් ඒ වෙලාවට නම්, මා එක්ක බෝඩිම ළඟට යන්න එන්න පුළුවන් ද? ඒ පාර ටිකක් කරුවලයි, පාරේ ලයිට් නෑ."

තරුණයා ගේ බෝඩිම පිහිටියේ ද, ඒ පැත්තේ ම, නමුත් වෙනත් අතුරු මාර්ගයකයි.

"හා හොඳයි, මං එන්නම්!" ඔහු යාන්තම් කියා ගත්තේ ය.

රාත්‍රී අටට පමණ සේවා ස්ථානයෙන් පිටත් වූ ඔවුන් දෙදෙනා, කතා බසයෙන් ම, මහා මාර්ගය තරණය කොට, කන්ද උඩට දිවෙන මාර්ගයේ මද දුරක් ගොස්, එතැනින් යුවතියගේ බෝඩිම දෙසට දිවෙන ගුරු පාරට පිවිසුනහ.

"කාලෝ අයං තේ!"

ඒ, මේ සැදැහැවත්, දැහැමි, බෝ පැළයක් බඳු, තරුණයා ගේ සිත ඔහුට කොඳුරා කියූ දහම් පදයකි.

"සංජි"

"ඇයි රනුක?"

"මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි...." රනුක අප සියලු දෙනාම දන්නා කතාව කියාගෙන ගියේ ය. ඔහු එය අවසන් කළේ ද නැවතත් අප හොඳින් දන්නා "මං ඔයාට කැමතියි, ඔයා මොකද හිතන්නේ?" යැයි විමසමිනි.

සමහර විට රනුක ඒ "මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි" කතාව කියා ඒ ප්‍රශ්නය එලෙසින් ම, ඒ සවස් යාමයේ දී අසාවි යැයි සංජි ද අපේක්‍ෂා කළා විය හැක.

"රනුක, මං හෙට ගෙදර යනවා, ආපහු එන්නේ සතියකින් විතර අලුත් අවුරුද්දේ. ඒ ආවට පස්සේ අපි කතා කරමු!" ඇය කලින් සූදානම් වී සිටියාක් සේ කීවා ය.

"එහෙනම් ඒ අලුත් අවුරුද්ද ඔයාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මං ප්‍රාර්ථනය කරන්නම්!" රනුක වහා පිළිතුරු දුන්නේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

(image: https://thumb9.shutterstock.com/display_pic_with_logo/165386934/611563286/stock-photo-heart-shape-made-of-nails-for-father-s-day-anniversary-or-valentine-611563286.jpg)

18 comments:

  1. ඉතින් ඒ රනුකට කොටුව පැනගන්න පුලුවන් උනාද?
    කොටුවක් කියල කිව්වෙ ඌ ඒ වෙනකොටත් අර දොස්තර නෝනට පොරොන්දු වෙලානෙ හිටියෙ නේද.
    බැඳල හිටියෙ නැතත් කොටුවක් නෙ

    ReplyDelete
    Replies
    1. උපකල්පනය වැරදියි. එනිසා, ඒ මත පදනම්ව නගන ප්‍රශ්නය තේරුමක් නැති එකකි!

      Delete
  2. කෙල්ලට අවුරුද්ද සුබ උනානං කොල්ලට හබක් වෙනව.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි වුනේ. හැබැයි එකේ අනිත් පැත්ත!

      Delete
  3. රනුකට අළුත් අවුරුද්දෙන් පසු සුභ වුනාද?

    ReplyDelete
    Replies
    1. කෙල්ලට සුබ අලුත් අවුරුද්දක් ආවා.
      රනුකට කෙල වුනා!

      Delete
  4. මෙහෙම මෙහෙමයි .... නියම කතාව.....

    ReplyDelete
    Replies
    1. "බ්ලා, බ්ලා, බ්ලා" කියලා ලියනවාට වැඩිය ඒක හොඳයි නේද?

      Delete
  5. රසිකලාගේ කාලෙනම් මේ කතා ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට පෝරුවෙන්. ඒත් අදකාලනෙම් ඉතින් පෝන්හබ් නැත්නම් රෙඩ්ටියුබ් වලින් තමයි.

    ReplyDelete
    Replies
    1. මේ කතාව නම් එතැනින්ම ඉවර වුනා!

      ඒක නේ නිමි කියලා දාලා තියෙන්නේ.

      Delete
  6. ඒ වස්තු බීජයත් මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ සම්බොලේට එක ජාතියක් නොවෙයි ජාති පහ හයක් ඕනි නේ!

      Delete
  7. අපූරු කතාව. මෙතන රනුක කියන්නේ රසිකම නේද? :)

    ReplyDelete
    Replies
    1. රනුක කියන්නේ රනුක. ඒ චරිතය කලිනුත් කතාවක ඉඳලා තියෙනවා.

      https://rasikalogy.blogspot.com/2017/05/hero-of-our-time.html

      Delete
  8. කෝ එතකොට සම්බෝලේ :)

    ReplyDelete
    Replies
    1. මේ පොල්.
      තව කොච්චර නම් ජාති ඕනැද සම්බෝලයක් හදන්න?

      Delete
  9. සම්බෝලේට අඩු වැඩිය සමඟ හමුවෙමු.. ;)

    ReplyDelete
    Replies
    1. උම්බලකඩ හිඟයි. අජිනමොටෝ අගුණයි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.