Friday, 15 September 2017

අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness


මා ඊයේ නිර්මාණය කර ෆෙස්බුක්හි පළ කළ ඉහත පෝස්ටරය පිළිබඳ විස්තර කරන්නට පෙර යම් අතීත කතාවක් කිව යුතුය.

මා අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ, සවස් වරුවේ රබර් බෝල ක්‍රිකට් ගැසීමට එක් වීමට පුරුදු වී සිටියෙමු. ඇත්තටම මේ ස්ථානයේ පැවතුණේ ටියුෂන් පන්තියකි. නමුත්, අප එහි යාමේ මූලික අරමුණ වූයේ සම වයසේ මිතුරන් සමග කරන ක්‍රිකට් ක්‍රීඩාවයි.

එක් දිනක් මේ පරිශ්‍රයේ දුවද්දී මා පය ලිස්සා ගොස් ඇද වැටුණි. දණහිස් සහ වැළමිටි නිසා හිස ඒ බොරළු පොළොවේ නොගැටී වළක්වා ගත් නමුත්, මා ඊළඟ මොහොතේ නැගිටින විට වැළමිටි දෙකම පතුරු ගොස් තිබුණු අතර දණහිස්වලින් ලේ ගලා එමින් තිබුණි.

ඒ තුවාල නිසා මට දැනුණු වේදනාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නමුත්, ඒ මොහොතේ මා දුටුවේ ඒ අසල සිටි එක් කොලුවෙකු මහ හඬින් සිනාසෙන බවයි. එය මට මහත් ප්‍රහේලිකාවක් විය.

"යකෝ, මං ඇදගෙන වැටිලා, තුවාල වෙලා, ලේ ගලන වෙලේ උඹ ඇයි හිනාවෙන්නේ?" මම ඔහුගෙන් ඇසුවේ කෝපයෙනි.

ඔහු කට වසා ගත්තේ ය.

නමුත්, මේ සිදුවීම දශක ගණනාවකට පසුව ද, මගේ සිතේ නොමැකී පවතී.

මනුෂ්‍යත්වය යනු තවත් අයෙකුගේ දුකක දී, ආපදාවක දී, අඩු වශයෙන් ඒ ගැන කණගාටුවීමයි, හැකි අයුරකින් උපකාරයක් කිරීමයි, ඔවුන් සමග ඒ දුක බෙදා ගැනීමයි.
සිරියාවේ පැවති කලබල නිසා දස දහස් සංඛ්‍යාත පිරිස් පලා යද්දී අප යුරෝපයේ දුටුවේ ඒ මානුෂිකත්වයයි.

එසේ නොමැතිව, වෙනත් අයෙකුගේ ආපදාවකදී සිනාසීම හෝ ඒ පිළිබඳව අවඥාවෙන් කතා කිරීම යනු, වෙනත් බොහෝ දෙනෙකුට මෙන්ම, මට ද සිතෙන පරිදි අමානුෂිකත්වයේ ලකුණකි.

මියන්මාරයේ පසුගිය දිනවල මහා ජන සංහාරයක් සිදුවුණු බව අපි සැම දනිමු. රජයේ හමුදාවන්ගේ ප්‍රහාර මැද දහස් සංඛ්‍යාත පිරිස් තමන් ගේ ගම් ප්‍රදේශ හැර දමා පලා යන්නට වූහ. ඔවුන් අද අසල්වැසි බංග්ලාදේශයේ සරණාගතයින් ලෙස අසරණව සිටිති.

දැන් සරනාගතයින්ව තම රටට භාර ගැනීම යනු හැම දේශයකට ම කළ හැකි දෙයක් නොවේ. ලංකාවේ රජයෙන් එවැනි තිරණයක් ගෙන ඇතැයි කියවෙන, ව්‍යාජ යැයි පැවසෙන සංවිධානයක් විසින් නිකුත් කරණ ලද ප්‍රකාශයක් දුටු විගස අපේ සමහර අයියලා අඳු කොළ දුටු නාගයින් මෙන් පෙණ පුප්පන්නට පටන් ගනු මම දුටුවෙමි.

ඔවුන්ගෙන් ඇතමෙකු සාධාරණ ලෙස කරුණු දක්වා තිබුණ ද, කැබිනට් ප්‍රකාශකයින් ගෝනියක් ම සිටින ලංකාවේ, ව්‍යාජ සංවිධානයකින් නිකුත් කළා යැයි කියවෙන ප්‍රකාශයකින් පමණක් කලබල වීම නම් විහිළුවකි.

ඒ සුළු පිරිස හැර අන් බහුතරය කර තිබුණේ, මේ අගතියට පත් ජන පිරිස පිළිබඳව වෛරී ප්‍රකාශ වැපිරවීමයි.

මා මුලින් කියූ පරිදි මානුෂික ගුණය වන්නේ දුකට පත් අයට වචනයකින් හෝ පිහිට වීමයි. එසේ නොකිරීම කෙසේ වෙතත්, එවැනි අයගේ දුක දැක සිනාසෙන්නෝ, අවඥා කතා කියන්නෝ නම් අමනුෂ්‍යයෝ ම ය.

ඒ අමනුෂ්‍යත්වයට හේතුව, අප කාගේත් සිත්වල ඇති ජාතිවාදයයි. එසේම අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නමින් හැඳින්වෙන අපට ආගන්තුක දේ පිළිබඳව ඇති බියයි.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අවුන් සාන් සූ කී පවා, මියන්මාර් ජන ඝාතන පිළිබඳව මුක පූට්ටු කරගෙන සිටියදී, අප වැන්නන් ගැන කවර කතා ද?

මගේ පෝස්ටරයෙන් කියවෙන්නේ එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න සංශෝධිත මෛත්‍රී භාවනාව.

මියන්මාරයේ රොහිංගලා හැර අන් සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා, සැපවත්වෙත්වා, දුකෙන් මිදෙත්වා, නිවන් දකිත්වා!