Thursday 24 November 2016

විමල් කුමාර් ද කොස්තා, මාලනී ෆොන්සේකා සහ එයා දැන් ලොකු ළමයෙක් - Just some goss


ලොකු ළමයෙක් යන යෙදුම ඇසෙන විට ම අපේ සිහියට එන්නේ ගෑල්ළමයින් ගේ මල්වර වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යන නමින් කරුණාරත්න සපුතන්ත්‍රි නම් ලේඛකයා නවකතාවක් රචනා කළේ ය. එය ඉතා ජනප්‍රිය වෙන්නට ඇතැයි සිතමි. ඒ එහි දෙවෙනි කොටසක් ද, "මනමාලි" නමින් ලියවී ඇති නිසා ය. මා බොහෝ විට කියවා ඇති නමුත් නිශ්චිත මතකයක් නැති මේ "දෙවන පරම්පරාවේ" නවකතා තරමක් සරල තරමක් අවුල් පෙම් කතා විය.

මා මෙහිදී "දෙවන පරම්පරාවේ" යන හැඳින්වීමෙන් අදහස් කරන්නේ, "ඉක්බිති සියල්ලෝ ම සතුටින් විසිර ගියහ!" අච්චුවේ වාත්තු කරන ලද, කොල්ලා සහ කෙල්ල ගේ අකලංක ප්‍රේමය සියලු සතුරන් මැඩ, සියලු බාධක සිඳ බිඳ දමා ජයගන්නා සුරංගනා කතා ඇතුළත් වූ "මුල් පරම්පරාවේ" නවකතාවලින් පසුව, කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද මොන්ටිසෝරි ආදර අන්දරයක අඳෝනාව රැගත් "ගොළු හදවත" නවකතාවෙන් පසු බිහි වූ නවකතා පරම්පරාව ය.

මේ නවකතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. එහි අනෙකුත් නියමුවෝ වූයේ, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි වැන්නන් බව මගේ අදහසයි. කුමාර කරුණාරත්න ගේ "රතු රෝස" මෙන් ම, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ "සුභා, ප්‍රාර්ථනා සහ සුබ ප්‍රාර්ථනා" ද මා ආශාවෙන් කියවූ නවකතා ය.



කරුණාරත්න සපුතන්ත්‍රි ගේ "එයා දැන් ලොකු ළමයෙක්" සහ "මනමාලී" නවකතා ඉතා ජනප්‍ර්‍රිය වූුවා පමණක් නොව ධර්මසේන පතිරාජා ඒ නවකතා ඇසුරෙන් චිත්‍රපටයක් ද අධක්‍ෂණය කළේ ය. සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස සැලකෙන ධර්මසේන පතිරාජා ගේ චිත්‍රපට අතුරෙන් ඉතා ජනප්‍ර්‍රිය වී ඇත්තේ ද ඒ චිත්‍රපටය වීම යම් ආකාරයක සරදමකිි.

අපේ අම්මා සහ පුංචි අම්මලා එය නැරඹූව ද, "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපට නැරඹීමට මට ඉඩ නොලැබුණි. මා සිතන ආකාරයට එයට හේතුව වෙන්නට ඇත්තේ ස්ත්‍රී දුෂණයක ජවනිකාවක් තිබුණු නිසා එය "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි" ආකාරයේ ලේබලයක් ඇලවී තිබීම විය හැක.

කෙසේ වෙතත්, මේ චිත්‍රපටයේ නමට ද අදාළව, එහි එන එක් දර්ශනයක මාලනී ෆොන්සේකා වැඩිවියට පත්ව දිය නා ගෙට එන දර්ශනයක් ඇතුළත් වූ ප්‍රචාරක දැන්වීම් ද, බණ්ඩාර කේ විජේතුංග ගේ ගැඹුරු හඬින් "එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්" යනුවෙන් සහ "අවාරෙට කෝපි මලුත් පිපිලා ඇති!" යනුවෙන් මාලනී ෆොන්සේකා ගේ දෙබසක් සහිත රේඩියෝ වෙළඳ දැන්වීම් ද, මගේ මතකයේ ඇත.



නවකතාවේ සුසිලාවතී ගේ චරිතයේ විස්තරය කෙසේ වුව ද, ඒ වන විට තම ජීවිතයේ තුන්වෙනි දශකය පසුකරමින් සිව්වෙනි දශකයේ එළිපත්තේ සිටි මාලනී ෆොන්සේකා, වැඩිවිය පැමිණෙන දැරියක ලෙස රඟපෑමේ යම් විකාර රූපී බවක් තියෙන්නට ද ඇත. හරියට, අබා චිත්‍රපටියේ උන්මාද චිත්‍රා ගේ චරිතය වයස හතළිස් පහක් පමණ වූ සබීතා පෙරේරා රඟපෑවාක් මෙනි!

මාලනී ෆොන්සේකාට අමතරව මේ චිත්‍රපටයේ අන් ප්‍රධාන චරිත නිරුපණය කළේ විජය කුමාරතුංග සහ පසුගිය දා මිය ගිය විමල් කුමාර් ද කොස්තා ය.

චිත්‍රපටයේ කතාවේ සාරාංශය අති සංක්‍ෂිප්තව පවසතොත්, ගැමි කෙල්ලකවන සුසිලාවතී (මාලනී) තම ඥාතියෙකු වන සිරිපාල (කොස්තා) අතින් දුෂණය වී අසරණ වන නමුත්, ඇගේ නිවසේ නවාතැන් ගෙන සිටිනා ග්‍රාමසේවක (විජය) ඇගේ පිහිටට පැමිණේ.

මට මේ සටහන ලියන්නට සිතුණේ විමල් කුමාර් ද කොස්තා ගේ මරණයෙන් පසු ඔහු ගැන ධනංජය කරුණාරත්න විසින් ලියූ විශේෂ ලිපියක විමල් කුමාර් ද කොස්තා සහ මාලනී ෆොන්සේකා අතර හෝඩියේ පන්තියේ සිට පැවති සුවිශේෂී සම්බන්ධතාවයක්, එය 50% ආදරයක් ද විය හැක!, ගැන කියවුූ විට දී ය.

තමන් ඒ වන විට රඟ පා තිබුණු චරිත අතරින් වඩාත් කැමත්ත ඇත්තේ "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට බව ඒ දිනවල විමල් කුමාර් ද කොස්තා පවසනු මා අසා ඇත.



ධනංජය කරුණාරත්න ගේ ලිපියේ අඩංගු කරුණුවලින් හැඟවෙන පරිදි, හෝඩියේ පන්තියේ සිට සිතෙන් තමන් ප්‍රේම කළ නමුත්, විවිධ සමාජ කරුණු නිසා තමන්ට අහිමි වූ ඒ මාලිනි ය, අතාත්වික ලෝකයක දී සුලු මොහොතකට හෝ තමන්ට හිමි කරගන්නට ලැබීම නිසා විමල් කුමාර් ද කොස්තා "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට වඩාත් ප්‍රිය කරන්නට ඇතැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: https://rateyourmusic.com/film/එයා_දැන්_ලොකු_ළමයෙක්; http://www.silumina.lk/punkalasa/20110306/_art.asp?fn=ar1103069)

21 comments:

  1. විමල් කුමාර ද කොස්තා ගැන මට තියෙන්නේ ඔහු කවටයෙක්, දුෂ්ටයෙක් වගේ මතකයක්. මම ප්‍රිය කරපු නළුවෙක්. මාලනී ෆොන්සේකා ගැන විස්තරය දැන ගත්තේ අද. ඇර ෆේස්බුක් එකේ තියෙන සටහන හරි වැදගත්..

    ReplyDelete
    Replies
    1. ධනංජය ගේ ලිපිය ඉතා රසවත්, වැදගත් එකක්. මං ඒක ෆේස්බුක් එකේ දෙතැනක බෙදා හැරියා. සමස්තයක් ලෙස ලිපිය 325+ වාරයක් බෙදා හැර තියෙනවා විවිධ තැන්වල. ලිපියේ සමහර කරුණු ඔහු අප සමග කියා තිබුණා කලකට පෙර.

      Delete
  2. ප්‍රේමයක් කියලා වරදවා වටහා ගන්න එපා. කොස්තාලාගේ පරම්පරාවට මාලිනීට යම් ලිංගික ආකර්ෂණයක් තිබුණා. මේකෙම අනෙක් පැත්ත ගාමිණී/විජය. ඒවා ප්‍රේමයන් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. තව එකක්. කොස්තාලට කලින් පරම්පරාවේ සුනිල් ආරියරත්න තමන්ගේ රුක්මණී දේවි කෙරෙහි ලිංගික ආකර්ෂණයක් තිබුණු බව (ඒ වචන වලින්ම නොවෙතත්) ලියා තියෙනවා. විචාරක තුමාගෙන් ඇහුවොත් තව කරුණු දැන ගත හැකි වෙයි.

      Delete
    2. මේක එහෙම රසික ආකර්ෂණයක් නොවෙයි. එක ගමේ, එක ඉස්කෝලේ, හෝඩියේ පන්තියේ ඉඳලා ආ සමීප ඇසුරක්!

      Delete
  3. විමල් කුමාර ද කොස්තා ගේ රඟපෑම් මා නරඹා ඇත්තේ “බඹරු ඇවිත්“ චිත්‍රපටයේ හා මෑතකදී විකාශය වූ කිසියම් ටෙලි නාට්‍යයක පමණයි. බඹරු ඇවිත් හි විජයගේ සමාජවාදී මිතුරෙකුගේ චරිතයක් නිරූපනය කරන විමල් අවසානයේ කිසිදු ඵලක් නැති කතාවක් ගම්වැසියන් වෙත කිරීම තමයි චිත්‍රපටයේ කූටාප්‍රාප්තිය. කෙසේ වුවත් ඔහු හොඳ රඟපෑමක් සිදු කරන බව දක්නට පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සහ එහි පසුබිමෙන් කෙරෙන පොලීසියේ ආගමනය මරු!

      Delete
  4. විමල් කුමාර ද කොස්තා ගේ මා දැක ඇති සීමිත වූ රඟපෑම් තුලින් ඔහුගේ රංගනය ගැන මටත් ඇත්තේ සතුටක්.කොහොම වෙතත් අපි ආදරේ කරන සමහර දේවල් අපේම කර ගන්න නොහැකි වුනාට ඒ දේවල් වලට තියෙන අපේ කැමත්ත අඩු වෙන්නේ නැහැනේ.ඉතින් සමහරවිට කොස්තා "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ තමන් නිරුපණය කරන චරිතය ගැන විශේෂ කැමැත්තක් ඇතුව ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍රපටියේ අවසානයේ ඔහු මිය යනවා වුනත්, දුෂ්ඨ චරිතයක් වුනත්, විමල් ඒකට අන් චරිතවලට වඩා කැමති මාලනී සමග සමීපව රඟපාන්න ලැබුණු නිසා තමයි!

      Delete
    2. සම්මුඛ සාකච්ඡාවක දී කියනු මා අසා ඇති තවත් මෙැවනි කතාවක් තමයි ෆ්‍රෙඩී සිල්වා කැමති ම තමන් රඟ පෑ චරිතය ළසඳා චිත්‍රපටයේ චරිතය බව!

      Delete
  5. Replies
    1. ධනංජය ඉන්නේ සිඩ්නි කිට්ටුව. මට මසකට වරක් හෝ මුණ ගැසෙනවා පොදු කලා වැඩක් සඳහා (සෙස්ස පස්සට). ඔය වැනි කතා සෑහෙන්න අහන්න ලැබී තියෙනවා.

      Delete
  6. රසික,

    මා දන්නා පරදි නම් මාලනී සහ සුමන ආලෝක බණ්ඩාර අතර ප්‍රේමයක් තිබුණා.

    "නවකතාවේ සුසිලාවතී ගේ චරිතයේ විස්තරය කෙසේ වුව ද, ඒ වන විට තම ජීවිතයේ තුන්වෙනි දශකය පසුකරමින් සිව්වෙනි දශකයේ එළිපත්තේ සිටි මාලනී ෆොන්සේකා, වැඩිවිය පැමිණෙන දැරියක ලෙස රඟපෑමේ යම් විකාර රූපී බවක් තියෙන්නට ද ඇත."

    ඔය කතාවෙ යම් ඇත්තක් තියනව. අර ලොකු දුව චිත්‍රපටියේ ගීතා කුමාරසිංහ school uniform එකෙන් ඉන්න දර්ශනත් තියනවා නේද?

    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. සුමන ආලෝක බන්ඩාර, මාලනි ෆොන්සේකා, එස්.කරු (සැමුවෙල් කරුණාරත්න ) එක සෙට් එකක්. තව අය ඉන්නවා. එස්.කරූත් පුදුම සුන්දර මනුස්සයෙක්. මට හැමදාම වගේ හම්බවෙන තැනක් 2000 කාලේ තිබුනා. පොරක්!!! දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන බව දන්නවා.

      අනුපමා ෆිල්ම් එකේ ස්විනීතා කෝන්ගහගේට දුන් චරිතයත් ඒ වගේ.

      Delete
    2. @ මොණරවිල

      ඔබේ කමෙන්ටුව නිසා සුමන ආලෝක බණ්ඩාර ගැන කියවා දැන ගත්තා. ස්තුතියි.

      http://www.silumina.lk/2010/04/25/_art.asp?fn=av10042511

      මාලනී මුලින් ම විවාහ වුනේ උපාලි සේනානායක වැනි නමක් ඇත්තෙකු සමග නේද?

      ඇය ලකී ඩයස් සමග විවාහ වී කළ රූපවාහිනී සාකච්ඡාවක කොටසක් තවමත් මට සිහි වෙනවා. පව්!

      පාසල් නිල ඇඳුම් ගැන කියනවා නම් ගොළු හදවත චිත්‍රපටියේ අනුලා කරුණාතිලක දැක්කාම මට හිතෙන්නේ නැණන්දා ඉස්කෝලේ ගිහින් කියායි. ඒ චිත්‍රපටයේ සුගත් ආදී පිරිඟ චරිතත් වයසක ඩයල්. ටෙලියේ නම් තරුණ ළමුන් හිටියා මතකයි සුධාරක සහ අනෝමා වැනි.

      Delete

    3. /* අනුපමා ෆිල්ම් එකේ ස්විනීතා කෝන්ගහගේ */

      අරූ,

      මේ කාරණය මට ලිපිය ලියන වෙලේ සිහිවී ප/ලි කොටසට ඇතුළත් කරන්න හිටියත් අමතක වී ගියා.

      මගේ මතකය ස් යුනිෆෝම් කතාව නොවෙයි. ඒ චිත්‍රපටයේ විජය සහ අමරසිරි කලං වැනි අයත් ඉන්නේ පාසල් සිසුන් ලෙසයි.

      අනුපමාට රඟපාන සුවිනීතා පාසලේ දී වැඩිවිය පැමිණ නිවසට යවනවා. ඒ ගැන විජය ගේචරිතය අන් ගෑල්ළමයින්ඝෙන් කෝ අනුපමා ඛොහෙද ගියේ යැයි විමසන විට ඒ එක කෙල්ලෙක් කරන්නේ තමන් කියවමින් සිටි පොතක් විජයට පෙන්නීමයි.

      ඒ පොතේ නම "එයා දැන් ලොකු ළමයෙක්"!

      කොහෙමද සම්බන්ධය?

      Delete
  7. රසික....මේ පෝස්ට් එක මරේ මරු. ඔබෙන් කියවු හොඳම හොඳ පෝස්ට් එකක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව මේකයි අරුණ.

      මේ සටහනේ මා ගැන වැඩි දෙයක් නෑ. මං නවකතාව කියවා ඇති බවට මතකයක් හෝ චිත්‍රපටය නරඹා හෝ නෑ.

      අනික මේ සටහනේ පසුබිම සමග අරූට සමීපව සම්බන්ධ වෙන්න පුළුවනි!

      Delete
  8. කුමාර, එඩ්වඩ් අනිත් කෙනා උපාලි වනිගසුරිය.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.