Monday 24 October 2016

සුදු කලිසමේ පින්වන්තකම - What's so good about white?


ලංකාවේ රජයේ පාසල්වල පිරිමි ළමුන් ගේ නිල ඇඳුම ලෙස සුදු කලිසම නියම කර ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මට සිතා ගත නොහැක. සුදු කලිසමක් ඇඳීම යනු, මඩ, දුවිලි, කුණු සහ වෙනත් පැල්ලම්වලට "එන්න මෙයාලා!" කියා අත වැනීමකි.

ඒ වෙනුවට කළු කලිසමක් නියම කර තිබුණා නම්, අපේ කාලයේ නම් සන්ලයිට් හෝ වොන්ඩර්ලයිට් සබන් බාර් ගණනාවක් ම ඉතුරු කර ගන්න ද, දැන් කාලයේ නම් රෙදි සෝදන කුඩු ද, රෙදි සෝදන මැෂින් ක්‍රියාත්මක වන පැය දහස් ගණනක් ඉතුරු කර ගන්නට ද තිබුණි.

පාසල් කාලයෙන් පසු අප බොහෝ දෙනෙකු එකම සුදු කලිසමක් හෝ නොමහන්නේ, මිලදී නොගන්නේ ඒ සුදු කලිසම් ඇඳීමේ ඇති අපහසුකම මොනවට ඔප්පු කරමිනි.

සුදු කමිස සම්බන්ධයෙන් තත්වය මෙය නොවේ. යට බාගේ මෙන් නොව උඩ බාගේ කිලුටු වීම සාමාන්‍යයෙන් අඩුය. අනිත් වැදගත් කරුණ නම් කමිසයක් නිවසේ දී ම සෝදා පිරිසිදු කර ගැනීමට වැය කළ යුතු මුදල ද, එසේ නැති නම්, ලොන්ඩරි හෝ ඩ්‍රයි ක්ලීන් ගාස්තු ද කලිසමකට වැය වෙන ප්‍රමාණයට වඩා සෑහෙන්න අඩු වීමයි.

අනෙත් වැදගත් කරුණ නම්, සම්මුඛ පරීක්‍ෂණයක් වැනි අවස්ථාවක් සඳහා කළු පැහැති කලිසමක් සමග සාමාන්‍යයෙන් සුදු කමිසයක් ඇඳීම සිරිත වීමයි. සුදු කමිසයකට ඕනෑම වර්ණයක ටයි පොල්ලක් ද ජාඩියට මූඩිය මෙන් ගැළපේ.

පාසල් සමයෙන් පසු අපට සුදු කලිසමක් අවශ්‍ය වෙතොත් ඒ මළගමකට සහභාගී වීමට පමණි. ඒ සඳහා ද පෙර කී සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වීම සඳහා අඳින කළු කලිසම සහ සුදු කමිසය ම ඇඳ ෂේප් විය හැකි බව මගේ අත්දැකීමයි.

මීට වසර හතරකට පමණ පෙර ලංකාවට නිවාඩුවකට ගිය වේලේ, මගේ දීර්ඝකාලීන ඇඳුම් මසන්නා වන පිළියන්දල පුවක්ගස් හන්දියේ "නිව් රත්න ටේලර්ස්" සාප්පුවට මා ගියේ සුපුරුදු පරිදි කලිසම් කිහිපයක් මස්සවා ගැනීමටයි. කාර්යාලයට ඇඳීම සඳහා තද පැහැති කලිසම් දෙකතුනක් මැසීමට ඇණවුම් කළ මම, හදිසියේ ආ අදහසක් අනුව පාසල් සිසුන් අඳින ආකාරයේ සුදු පැහැති රෙද්දකින් ද කලිසමක් රත්නපාල ලවා මස්සවා ගතිමි.

මා සතුව තිබුණු සුදු පැහැති කමිසසයක් සමග මා මුල්වරට ඒ සුදු කලිසම ඇන්දේ ආපසු ඕස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසු, අපේ නිවසේ සිට බටහිරට කිලෝ මීටර් පනහක් පමණ දුරින් පිහිටා ඇති කටුම්බා ආරන්‍යයට යෑමටයි. ඒ එහි වැඩවසන කුඩාගල කෝවිද හිමියන් සහ තවත් සාදුලා දෙදෙනෙකුව, අපේ නිවසේ සිට ඊසාන දිගින් කිලෝමීටර් තිහක් පමණ දුරින් ස්කෝෆීල්ඩ් හි පිහිටි ලංකාරාමයේ එදින පැවැත්වීමට නියමිතව තිබුණු කටින පිංකම සඳහා වැඩම කරවාගෙන යාමටයි.

උදේ රුයින් ම නිවසෙන් පිටත් වී, විනාඩි හතළිස් පහක් පමණ කාලයක් මග ගෙවා කටුම්බා ආරණ්‍ය සේනාසනයට ළඟා වුණු මම, එහි නිත්‍යවාසී කුඩාගල කෝවිද හිමියන් සහ තාවකාලිකව ලංකාවෙන් පැමිණ සිටි තවත් භික්‍ෂුවක් ද කැටුව පිටත්වුණේ කටුම්බා ආරණ්‍යයට කිලෝමීටර් දහයක් පමණ දුරකින් පිහිටි වෙනත් ආරාමයක වසන චීන ජාතික භික්‍ෂුවක් වාහනයට නංවා ගැනීමටයි.

වාහනයේ දී කෝවිද හිමියන් මගෙන් විමසුයේ මා බලාපොරොත්තු නොවුණු ආකාරයේ පැනයකි.

"කොහෙන්ද මහත්තයා, ඔය සුදු කලිසම ගත්තේ?"

"මං සැප්තැම්බරයේ ලංකාවට ගිය වෙලේ මස්සවා ගත්තා හාමුදුරුවනේ!" මම පැවසීමි.

"ආ ඒක මිසක්!"

"ඇයි හාමුදුරුවනේ එහෙම ඇහැව්වේ?"

"නෑ මහත්තයා, සුදු කමිස ඇඳගත්තු පිරිමි ඈයෝ පන්සලට ආවට, සුදු කලිසමක් ඇඳපු කෙනෙක් දකින්නේ ම නැති තරම්!" කෝවිද හාමුදුරුවෝ පැවසූහ.

කළු, දුඹුරු, නිල් ආදී විවිධ වර්ණයේ රෙදිවලින් නිමවුණු කලිසම් ඕනෑ තරම් මිලට ගැනීමට ඕස්ට්‍රේලියාවේ සාප්පුවල තිබුණ ද, ඒ අතර සුදු පැහැති කලිසම් තිබෙනු මා ද දැක නැති බව මට එවෙලේ සිහිවිය. සුදු පැහැයෙන් යුතු එක කලිසම් වර්ගය නම්, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අඳින වර්ගයේ ඒවා පමණි!

මසා නිම කළ කලිසම් මිස, ටේලර් මේඩ් / බෙස්පෝක් කලිසම් තමන් ගේ මිනුම්වලට මස්සවා ගැනීම ඕස්ට්‍රේලියාවේ අධික වියදම් සහගත වැඩකි. සාප්පුවකින් මිල දී ගන්නා ඇඳුමක, කකුලක් කොට කර ගැනීම වැනි දෙයකට පවා ලංකාවේ දී ටේලර් මේඩ් කලිසමක් මසා ගැනීමට යන මුදල ම වැයවේ.

වසරකට වරක් දෙවරක් පමණක් පන්සලට යන මට, සැදැහැවත් උපාසකයෙකු ලෙස ශ්වේත වර්ණයෙන් සැරසී අඩුවශයෙන් පිටතින් හෝ සිල්වත්කමක් පෙන්වීමට හැකිවීම ගැන මට ඇති වුණේ සතුටකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.intro-clothing.com/blog/2016/06/cristiano-ronaldo-summer-inspired-outfit/)

47 comments:

  1. දුහුවිලි වැඩි මේ වගේ රටකට සුදු කලිසම ගැලපෙන්නේ නැහැ තමයි.

    ReplyDelete
    Replies
    1. අව්වට සුදු හොඳා, ඒකනේ එංගලන්තයේ පවා සුදු අඳින්නේ.

      කළුපාට ඇන්දාම තාපය උරා ගන්නා කෘෂණ වස්තු වෙනවා.

      සුදු කුඩ නැත, කළු කුඩ ඇත!

      Delete
  2. අප්පා පුවක්ගස් හන්දියේ රත්නේ අයියා,මමත් කාලයක් පොරගෙන් කලිසං මැහුවා.හැබැයි ලංකාව සමකය ආසන්න උෂ්ණාධික රටක් නිසා සුදු අදිනවා වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. නිව් රත්න ටේලර්ස් මීට කලින් පිළියන්දල ටවුමේ ම දෙතැනක තිබුණා. මං අවුරුදු විසි පහක් තිස්සේ කලිසම් මහන්නේ එතැණින්!

      Delete
  3. පිටතින් සිල්වත් බව පෙන්වීමට අවශ්‍ය අය අඳින්නේ සුදු ඇඳුම් විතරමයි.

    ReplyDelete
    Replies
    1. පිටතින් සිල්වත් බව පෙන්වීමට අවශ්‍ය නම් කලිසම්ටත් වඩා හොඳට ගැලපෙනවා සුදු රෙද්දක් ඇන්දනම්.

      Delete
    2. දේශපාලුවන් ගේ කපටි සුට් සේරම සුදෝ සුදු නේද? බණ්ඩාරනායකගේ සිට මෛත්‍රිපාල දක්වා!

      Delete
  4. පොඩි ලමයි නිල් පාට කොට කලිසම අඳින හේතුවත් දන්නෙ නෑනෙ කවුරුවත්? අනික වියලි කලාපෙ පැත්තෙ ගියාම හුඟක් ඉස්කෝලවල ලමයි බාග ටයි පොල්ලක් එල්ලන් ඉන්නවා. දාඩිය පෙරාගෙන මොන වදයක්ද?

    ReplyDelete
    Replies
    1. මං ගිය කණිෂ්ඨ පාසලේ ඕනෑඟ ඇඳුමක් අඳින්න නිදහස තිබුණා. යුනිෆෝම් තිබුණේ නෑ, පස්සේ වෙනස් වෙන්න ඇති. අපේ කාලේ පාසල්වල ටයි දැම්මේ කෙල්ලෝ විතරයි. ඒත් දේවි බාලිකා, සුජාතා/එස්පීඑම් නෑ මට මතක විදියට.

      Delete
  5. මේකටම අදාළ තවත් ප්‍රශ්නයක් තමයි සුදු ඇඳුම බෞද්ධාගමට සම්බන්ධ වුණේ කවදාද කොහොමද කියන එක. මේකත් මා දන්නා පමණින් ලංකාවේ පමණක් වන දෙයක්. ථෙරවාදී බෞද්ධ තායිලන්තයේ බෞද්ධයින් සුවිශේෂයෙන් සුදු අඳින්නේ නැහැ, පන්සලට යන විට වත්. තායි රජතුමාගේ අවමංගල්‍ය උත්සවයට යන බෞද්ධයින් ඇඳ හිටියේ කළු පාටයි.

    ReplyDelete
    Replies
    1. අව්වට සුදු හොඳා, ඒකනේ එංගලන්තයේ පවා සුදු අඳින්නේ. කළුපාට ඇන්දාම තාපය උරා ගන්නා කෘෂණ වස්තු වෙනවා.

      ඒ නිසා විය යුතුයි!

      Delete
  6. ඉස්කෝලේ කාලෙන් පසුව සුදු කමිසයක් ගත්තේ වෙඩිමට පමණයි. පන්සලට අඳින්නේ ලා පාට කමිස ය. ඉතා මෑතකදී මළගෙදරකට සහභාගී වීමට සුදු කමිසයක් ගතිමි. සුදු කලිසම් නම් ඇත්තේම නැත. පන්සල් අඳින්න වඩා සුදුසු සුදු නම්, පන්සලේ ඉන්නා හාමුදුරුවරු දීප්තිමත් පාටක් වන තැඹිලි පාට අඳින්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. චිවර මුලින් හදාගෙන තියෙන්නේ මළ මිනී වහපු රෙදි කෑලි අරගෙන අල්ලි කපා එකට මහලා, එක පාටක් වෙන්න පඬු පාට දාලායි. දැන් හොඳ රෙඳි අරගෙන කෑලි කපා ආපසු එකට තියා මහනවා!

      Delete
  7. මටත් පන්සල් යාමට “සිදුවී“ තිබෙනවා - ඒ අවස්ථාවලට අඳින්න සුදු කමිස දෙක තුනක් තිබෙනවා - සුදු කලිසම් නම් අවුරුදු 15කින් පමණ ඇඳ නැහැ :)

    ReplyDelete
    Replies
    1. ඔහොම ඔහොම ගිහින් සිල් ගන්න කාලේ ආවාම සුදු සරමක් ගන්න!
      ;-)

      Delete
  8. පාසල් ළමුන්ට සුදු ඇන්දවීම කාගේ වැඩක්ද? සඝ, වෙද, ගුරුලා ගේ වැඩක් වෙන්නත් පුළුවනි. මම හිතන්නේ ඒක ඉස්සර හිටපු චිත්තරපටි නිෂපාදකයන්ගේ / ඩිරෙක්ටර්ලගේ වැඩක්ය කියලා, පරණ කාලේ කළු/ සුදු චිත්‍රපටි වල නළුවන්ට අන්දන්නේ අමු රෙදි වලින් මහපු සුදු පාටට හුරු බාච්චු ඇඳුම්,ලෝ රිසලුෂන් වලත් දීප්තිමත් සුදු හොදට කැපිල පේනවා (සුදු රෙදි ඇඳි කළු මිනිස්සු), චිත්තර පටි කාරයේ ඇන්දෙව්වා, අපේ සීයලා ඇඳ ගත්තා.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා නම් රැකියාවට, අවමගුලකට, මංගලෝස්වයකට, රැස්වීමකට හෝ කුමනාකාරයේ කාරණයක් සඳහා වුව නිවසෙන් පිටතට යන විට ඇන්දේ සුදුම සුදු ජාතික ඇඳුම පමණි.

      Delete
  9. මගේ ළඟ සුදු ලිනන් කලිසමක් තීබ්බා... ඒකෙ කකුල් පහල කොටස හැමදාම මඩ වෙන හින්දා නෙළුම ගිය සතියේ ඒක කපලා ෂෝට් එකක් බවට පත් කළා.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ? තුන් කාලේ කලිසමක් කරන්න තිබුණා නේ!

      Delete
  10. අපි නම් මෙඩිකල් ෆැකුල්ටි එකේ වයිවා වලට ඇන්දේ තනි සුදු ඇඳුම. බොරුනම් කොමාන්ඩර් ඉන් චීෆ් ගෙන් අහල බලන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඇයි ක්ලිනිකල් යන්න සුදු කෝට් මැස්සෙව්වා නේද? කමාන්ඩර් ඉන් චීෆ් කෝට් මහන්න කලංසූරියට දුන්නු සල්ලි හෝ කෝට් හෝ තාම ලැබිලා නෑ!

      Delete
  11. මා සිතාගෙන සිටියේ අද (ඔක්තෝම්බර් 24) රසික ලියූ ලිපිය වැදගත් කියා. එය එසේ නොවන බව දැන් පැහැදිලියි. ඒ ලිපිය කිසිවකු බෙදාහදාගෙන (ෂෙයා කර) තිබුණේ නැහැ. මා ප්‍රතිචාර කියෙව්වේ නැතත් ලිපියට කැමැත්තක් දක්වන අය හා ලිපිය බෙදාහදා ගන්නා අය කවුරුන්දැයි සොයා බලනවා. මා සමග කිට්ටුවෙන් ම සිටින අය රසිකගේ ලිපිවලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ලිපි කියවන බවක්වත් පේන්න නැහැ. ඔවුන්ට එතරම් ම වැඩ! කලක් ලිපිවලට කැමැත්තක් දැක්වූ අය දැන් එසේ කරන්නේ නැහැ. එහි යම් දේශපාලන කුහකකමක් මා දකිනවා. මා වැරදි වෙන්න පුළුවන්. රසිකගේ ලිපිවල එන්න එන්න අලුතෙන් යමක් නැතිවා වෙන්න පුළුවන්.

    රසික වැදගත් දෙයක් කියන්නේ නැතිව ඇති. අනෙක් අය කියන දේ රසික පුනරුච්චාරණය කරනවා වෙන්න පුළුවන්. ජනමාධ්‍යකරුවන් රසිකගේ කතාවල කිසිම වැදගත්කමක් දකින්නේ නැහැ. ඊයේ මා සිනුවර පැවැත් වූ රැස්වීමකට සහභාගි වුනා. රසිකට පෙර අනුශාසනාවක් හා කතාවක් පැවැත්වුනා. රසික කතාව පටන්ගත් විට ම ජනමාධ්‍යකරුවන් තම කැමරා ආම්පන්න අරගෙන යන්න සූදානම් වුනා. මට කණාගාටුවක් මෙන් ම කළකිරීමක් ද ඇතිවුනා. රසික කියන දේට සතපහකවත් වටිනාකමක් නැති බව මට වැටහුණා. අවුරුදු තිස්පහක් පමණ ලිවීමෙන්, දේශන පැවැත්වීමෙන් පසු ජනමාධ්‍යකරුවන් යම් නිගමනයකට පැමිණ ඇති බව පේනවා. මුහුණු පොතේ ද ඒ නිගමනය මට දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ නලින් ද සිල්වා මහත්තයා බුකියේ කිව්ව කතාවක් රසිකට ආදේශ කරලානේ - රසිකගේ ආනන්දෙ යාලුවා කරපු වැඩක්ද දන්නේ නෑ

      Delete
    2. ලක්ෂාන්, ඔබ හරි ම නූගතකු බව පමණක් නො වේ කිසියම් භීන්නෝන්මාද තත්ත්වයකින් පීඩා විඳින බව ද පෙනෙනවා. ඔබ අදාළ නැති කතා පවසා මඟ හැර යනවා. ඔබ කරන්නේ ඔබට පඩි ගෙවන යූ.එන්. සහ යූ.එන්.පී. න්‍යායපත්‍රයන්ට අනුගත ව ඔවුන් විසින් නිර්දේශ කරනු ලබන මාතෘකා ඔස්සේ ලිවීමක්. ඔබ ලියන දේවලින් පෙනෙනවා සල්ලිවලට ලියන බව. ඔබට මතයක් නැහැ. ඔබේ මතය ඔබගේ හාම්පුතුන්ගේ මතය යි.

      Delete
    3. පව් මෙයාලා, කොහොමට හිටපු නලින්ද සිල්වා ද?

      Delete
    4. //යූ.එන්. සහ යූ.එන්.පී. න්‍යායපත්‍රයන්ට අනුගත ව ඔවුන් විසින් නිර්දේශ කරනු ලබන මාතෘකා ඔස්සේ ලිවීමක්// මෙලෙස මා ලීයූ බව ඔබ පවසන යමක් මගේ බ්ලොගය හෝ සමාජ ජාලවල වෙනත් අදහස් දැක්වීම් අනුව ගෙනහැර දක්වන්න පුලුවන්ද ? එසේ නැතිනම් ඔබ මෙතන කරන්නේ ඔබේ වර්තමාන තත්ත්වය අනුන්ට ආදේශ කිරීමක්ද ?

      Delete
    5. @ ලක්‍ෂාන්,

      මුල් ඇනෝනිමස් කමෙන්ටුවේ මූලාශ්‍රය වහා සොයාගත් ඔබට දෙවෙනි කමෙන්ටුවද එවැන්නක් බව නිකමට හෝ හිතුණේ නැද්ද?
      http://www.w3lanka.com/2016/10/blog-post_55.html?showComment=1477296690629#c2282762044107315243

      Delete
    6. මුල එකම මම වහාම සොයාගත්තේ ඊට කලින් අදාළ ලිපිය කියවා තිබුනු නිසයි - දෙවැන්නත් එසේම විය හැති බව මුලදි සිතුණත් මූලාශ්‍රයක් සිහියට ආ‍වේ නැහැ - ස්තූතියි කෙසේ වුවත්

      Delete
  12. පාසල් ළමුන් නොවෙන වෙනත් තනි සුදු අඳින පුද්ගලයෙක් නම් ඉතා භයානකයි කියන එක තමයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ගැටළුව මේ පුද්ගලයාගේ භයානකකම බොහෝ දෙනකු තේරුම් නොගැනීමයි. වැඩි දෙනකු ඔහු ගණන් ගන්නේ නෝංජලයකු විදිහට. ඒ නෝංජලයා ඇතුළේ ඉන්න වෘකයා බොහො දෙනෙක් දකින්නේ නැහැ.

      Delete
    2. තව එකක් මතක් වුණා. "ගිනි අවි හා ගිනිකෙළි" චිත්‍රපටයේ භයානකම ඝාතකයා තනි සුදු අඳින, කාටූන් චිත්‍රපට බලන, සමහරු 'මොන ඉස්කෝලෙන්ද ගෙනාවෙ?' අහන බැලූ බැල්මට ඉතාම අහිංසක චරිතයක්.

      Delete
    3. හොඳ කමෙන්ටුවක් ඇනෝ. ඔය බැටළුහම් පොරවාගෙන ඉන්නා කාලක්ණ්ණි වෘකයෝ ඔහොමමයි.

      ගිනි අවි සහ ගිනිකෙළි කතාවේ තුම්මුල්ලේ පද්මෙ (ජැකා) මරාදැමීමට නයිට් ක්ලබ් හිමි කොස්තා (විල්සන්) ගේ කල්ලිය අලුත් ඝාතකයකු (උතුරේ සන්නද්ධ ව්‍යාපාරයකට සම්බන්ධව සිටි අයෙක්) සොයාගනී. කොස්තාගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනා වන විලී (පාලිත) සහ සෑම් (මහෙනද්‍ර) සමග මේ පිළිබඳ මත්පැන් බොමින් සාකච්ඡාවකි. තරමක් ඇතට වන්නට රූපවාහිනියේ කාටුන් චිත්‍රපට නරඹමින් කුඩා දරුවකු මෙන් සිනාසලමින් සිටින මත්පැන් කටේ නොතබන අලුත් ඝාතකයා දක්වමින් කොස්තා (විල්සන්) කියන්නේ "හරිම අමාරුවෙන් මිනිහ හොයාගත්තෙ, රජ බඩුවක්" ලෙසයි. මෙවිට විලී (පාලිත) මත්පැන් පොදක් තොලගාමින් අසන්නේ "ඌ තාම ඉස්කෝලෙ යනවද?" කියාය.

      ලස්සන මතකයක් සහ සොඳුරු සිනමා තිර කතාන්තරයක්.

      Delete
    4. @ Anonymous24 October 2016 at 17:06
      නමුත් මගේ තාත්තා හැමදාම ගෙයින් එළියට යන්න ඇන්දේ සුදු ජාතික ඇඳුමයි. ඒක ඔහු හතලිහේ දශකයේ පමණ සිට ඇන්ද ඇඳුමයි.

      Delete
    5. ගිනි අවි ගිනි කෙලි පොතේ සහ චිත්‍රපටයේ දෙකේම ඔය සිදුවීම එළෙසම තියෙනවා.

      මං හිතන්නේ ඒ චරිතය රඟපෑවේ අනුර හොරේෂෂ් ම කියායි!

      Delete
  13. සුදු ඇඳුම් අඳින්නේ හොඳ බබාලාය. රසික සුදු අඳියි. එනිසා රසික හොඳ බබෙකි. ඒ බව දන්නා 'සාධුලා' රසිකට මහත්තයා කියයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ / ඕස්ටේ‍ර්ලියාවේ කියා වෙනසක් නැත. මෙහේ හාමුදුරුවරු හැමෝටම කතා කරන්නේ මහත්තයා/ නෝනා කියා ය.

      Delete
  14. අපේ හාදයෙක් හිටියා නම රණසිංහ...ඒත් හැමෝම කියන්නේ සුදුසිංහ කියලා. ජොකාගේ ඉඳන් සියලුම ඇඳුම් සුදු පමනයි. වෙන පාටකින් ඉරක්වත් තියෙන මේස් දෙකක්වත් දාන්නේ නැහැ. බෙඩ් ශීට්, කොට්ට උර මේ සියල්ලක්ම එහෙමයි. අපේ කාමරවලට ලගා ගහන්න එනකොට බෙඩ්ශීට්, කොට්ට උර අරන් එනවා. ඒක නම් පොඩි OCD ගතියක් වගේ.

    කොච්චර සුදු ඇන්දත්....ඉතාම හිත හොඳ, නිර්ව්‍යාජ මිනිහෙක්. බිව්වට පස්සෙත් කතා කරන්නේ වෙන වෙලාවටත් වඩා අඩුවෙන් සහ හෙමින්.

    ReplyDelete
    Replies
    1. අපේ කාලයේ ජාතික ඇඳුම ඇන්ද සියළු දෙනා පාවිච්චි කලේ සුදු පාට රෙදි. විශේෂයෙන් ම ගුරුවරු. සුදු කමිස කලිසම් පමණක් ම ඇඳි ගුරුවරුනුත් හිටියා.

      Delete
  15. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සුදු ඇඳල ඉන්නේ !.මෙයා බුදුපිළිමයකට කකුල තිබ්බ කේස් එකක් ගියානේද?

    ReplyDelete
    Replies
    1. මගේ කතාවේ අතුරු කතාව එක් අයෙකුට පමණක් හෝ තේරුණු එක ගැන සතුටුයි!

      Delete
  16. සුදු කලිසමක් මහගන්න ආසා හිතුනා කියහන්කෝ මේක කියෙව්වට පස්සේ

    ReplyDelete
  17. මගේ ලඟ නම් සුදු කලිසම් දෙකක් තියෙනවා. ඕක එලියට ගන්නේ සමර් එකට තමා ඉතින්.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් ගියාට පස්සේ හිර නැතුව අඳින්න පුළුවන් නම් ලොකු දෙයක් නේද?

      Delete
  18. සුදු කලිසම වෙනුවට කළු කලිසමක් නියම කර තිබුණා

    ReplyDelete
  19. සුදු කලිසන් යුගය අනූ නවයෙන් අවසන් වුනා. ශර්ට් නං ගන්නව ඉලෙක්ෂන් ඩියුටි යන්න ඕන වුනාම.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.